කවි

හදිසියේ මියගිය අම්මාගෙ සිරුර හඳුනාගැනීමට ගොස්

දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලයි ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ
හේන් කොට කොට කුරක්කන් මුං එක්ක නිතරම මාර යුද්දේ
දෙයියෝවත් නෑ දන්නේ හරියට ඉන්නවා නම් දෙවොල් කන්දේ
කැලේ විසකටු නිතර ඒකයි දනිහ පල්ලැහැ රටා ඇන්දේ

හැතැප්මක් දුර වතුර කලයක් කරෙන් අරගෙන ඇවිදලා
උරිස්සක් හිරි වැටෙන ගතියක් තිබුනා නිතරම වෙවුලලා
බැරි උනත් පොඩි ඉඩක් තිබුනොත් තාත්තාගේ ළඟ වැතිරිලා
ඉන්න මානං පඳුරු සේරම එයා දැම්මා ගලවලා

පේනවද අර අතන තියෙනා කටුකොහොල් වැල් පිරුන ලන්දේ
පැත්තකට විසිවෙලා පෙරලුන වල් බතල අල ගොඩක සද්දේ
ලංවෙලා ඇහුවොතින් උන්ගෙන් ඔතන ඇයි ඔය ඔහොම නින්දේ
කියයි ඔහෙලට අම්මා ඔතනට අරන් ආ හැටි ඔතන් රෙද්ද

ගල් වලේ වැඩ කරපු දවසක කැඩුණු සුළැඟිලි කොටය ඇත්නම්
ඇදුම එනවට හදිස්සියකදී ගන්න පෙති ටික හම්බුනානම්
මගදී අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවානම්
මහත්තයෝ ඔය නිදන් ඉන්නේ අපේ අම්මාම තමයි එහෙනම්


ජනිත් විතාරණගේ

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + seventeen =

Back to top button