කවි

වළාකුලී මේ අහපං….

නොනැවතී වහින වැස්ස නවතනු අටියෙන් ගැහැණු වළාකුලක් වෙත චාටුවෙනි....

කට ගොන්නක් බී ඇවිදින්
‘අහස්’ අන්න ගුගුර ගුගුර
උඹව හොයනවා
කෑලි පහේ ටෝච් එළිය
ළඟම වදිනවා

කළු කරගෙන සුදු ම මූණ
‘වළාකුලී’ උඹ ඉඳගෙන
අතොරක් නැති කඳුළු බිංදු
බිමට හලනවා

වළාකුලී මේ අහපං….
පවුල් ප්‍රශ්ණ ඔහොම තමයි
ඈනුම් යන තරු පැටි කැළ
දිහා බලාපං
උන්ට කන්ට සඳ තැටියේ
බතක් උයාපං

නිදි ගන්වා තරු පැටවුං
නුරා බැලුම් දෙහි ගෙඩියෙන්
අහස් හිමිගේ මධු මත් වත
සෙනේ උලාපං
දුහුල් සීත සළු මුද මුද
උඹේ නාරි වළා සිරුරේ
හැඩ පෙන්නාපං

ඊට පස්සේ….

අහස් හිමිගේ රාග සුවඳේ
උඹ මත් වේවි
සිනා,කෙඳිරි,වේග සුසුම්
හඩ මුහු වේවි

මේ රැය නම් හරි මනකල්
දිගු වුණි නම් තව මනරම්
උඹට සිතේවී
උකුළේ උඹේ හිස හොවාන
අහස් හිමිත් තරු අතරේ
නින්දට යාවී

දැං එහෙනං නාඩා ඉඳිං
හිනාවෙයං සතුටු හිතිං
කියනවාට මේ ටික උඹ කරලා බලාපං
මධුසමයත් මතක් වේවි බොරුද බලාපං


තිසර නන්දන

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 4 =

Back to top button